ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ජයිකා ආයතනයේ සහාය ලබාගැනීම පිළිබදවත්, ඉදිරි සැලසුම් හා මෙහෙයුම් කටයුතු සකස් කිරිම පිළිබද අවධානය යොමු කිරීම සදහා ජයිකා ආයතනයේ විශේෂ උපදේශක MIHARA ASAHIKO මහතා පසුගියදා අමාත්‍ය මනූෂ නානායක්කාර හමුවූවා.

පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම පිළිබ​ඳව මෙන්ම මෙහෙයුම් කටයුතු සංවිධානය කරන ආකාරය පිළිබ​ඳවත් මෙහිදී අවධානය යොමු කොට තිබෙනවා.

අදාල මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත්, සමින්ද ජයසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කරනු ලැබූ අතර ජයිකා ආයතනයෙන් ආධාර ලබාගැනීම සදහා වන කටයුතුද එම කමිටුව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

ජපාන රැකියා ඉලක්ක කරගනිමින් වියට්නාමයේ හා මියන්මාරයේ පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සදහා පහසුකම් සැපයූ ආයතනයේ ප්‍රධානියා මෙන්ම විදේශ රැකියා සම්බන්ධයෙන් ජපානයේ සිටින විශේෂ නියෝජිත ආචාර්ය රුවන් පෙරේරා මහතාද මෙම හමුවට එක්ව සිටියා.

Share.

Comments are closed.