මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පුද්ගලික බස් රථ G.P.S. තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව යටතේ තීරණය වී තිබේ.

මහනුවර නගර සංවර් ධන කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දුර ගමන් සේවා නොවන බස්රථ රැසක් සිය ගමන්වාරය ආරම්භ කොට නගර සීමාව පසුවන තෙක් මන්දගාමීව ධාවනය වන බවට කමිටුවට ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙනි.

ඒ අනුව G.P.S. උපාංග භාවිතා කරමින් බස් රථ විධිමත්ව නිරීක්ෂණය කොට තදබදය පාලනය කිරීමේ වැඩසටහන ඉදිරියේදී සැලැසුම් කිරීමට නියමිතය.

මහනුවර නගරය සංවර්ධන කිරීමේ විශේෂ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමුව තිබේ. ඒ යටතේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහනුවර නගර සංවර්ධන කමිටුවක් පිහිටුවා ඇති අතර නගරයේ සංවර්ධන කටයුතු පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවේ කාර්යයකි.

එම කමිටුවේ විශේෂ රැස්වීමක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී වාහන තදබදයට හේතුවන පුද්ගලික බස් රථ පාලනය කිරීමට තීරණය විය.

ඒ අනුව මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මහනුවර මූලස්ථාන පොලීසිය හා එක්ව අදාල පුද්ගලික බස් රථ නිරීක්ෂණ කොට තදබදය පාලනය කිරීමට එකඟ විය. මහනුවර මාර්ග දෙපස වාහන ගාල් කිරීම සීමා කිරීම, අමතර රථ ගාල් යෙදවීම ඇතුලු යෝජනා කිහිපයක් එහිදී කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබදව සකච්ඡා විය.

ලෝක බැංකු අරමුදල් යටතේ මධ්‍යම පළාතේ පුද්ගලික බස් රථ සඳහා G.P.S. උපාංග සවි කොට ඇති බවත් දැනට එම උපාංග නොමැති බස් රථ සඳහා උපාංග සවිකරන ලෙසට දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා අදාල නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Share.

Comments are closed.