ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිවුවැනි තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයෙන් කඩුළු 8 ක ජයක් වාර්තා කිරී​මට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ, ඕවර 18.2 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

අවිෂ්ක ප්‍රනාන්දු (52) සහ නායක කුසල් මෙන්ඩිස් (29) එක්ව ආරම්භක කඩුල්ලවෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 76 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 32 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

අර්ධ ශතකය ලබාගැනීමෙන් පසු විජයකාන්ත් වියස්කාන්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් අවිෂ්ක දැවී ගිය අතර ඒ සමගම දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත් විය. දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තර​ඟයේදී මෙන්ම මෙම තරගයේදීද අගනා පිතිහඹයක නිරත වූ කුසල් පෙරේරා පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායමට ඕවර 20 අවසන් වන විට කඩුළු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්කළ බිනුර ප්‍රනාන්දු, කඩුල්ලක් දවාගනිමින් 19 වැනි ඕවරය එක් ලකුණකට සීමා කිරීමටද සමත් විය. ඔහු යැවූ සෙසු ඕවර දෙකේදී ලකුණු 26 ක් උදුරාගැනීමට ජැෆ්නා පිතිකරුවන් සමත් වුවද, ඒ අතරවාරයේ ප්‍රියමාල් පෙරේරා (5) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමටද බිනුර සමත් විය.

දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ චරිත් අසලංක, පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකණු 56 ක් රැස්කළේය. මුලු ලකුණු සංඛ්‍යාව 20 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් (14) දැවී ගියද, තව්හීද් රිඩෝයි (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසලංක සමත් විය.

ඒ අනුව මුල් ඕවර 10 නිමාවන විට ජැෆ්නා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය. සිය මංගල එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කළ වේඩිව් මිලර්ට පන්දු 18 කදී හතරේ පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. අවසන් ඕවරය යැවූ හේඩ්න් කේර්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජනිත් ලියනගේ රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් මිලර් ගේ ඉනිම නිමාවට පත් විය.

කණ්ඩායම් දෙකම එක් වෙනස්කම බැගින් සිදුකරමින් මෙම තරගයට ක්‍රීඩා කළ අතර එහිදී ජැෆ්නා කණ්ඩායමට නිෂාන් මධුෂ්ක වෙනුවට ඩේවිඩ් මිලර්ද, දඹුල්ල කණ්ඩායමට ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට නූර් අහමඩ්​ද ඇතුළත්ව සිටියහ. ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැලකෙන මිලර් ලංකා ප්‍රීමියර් ලීග් තරගයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙය වූ අතර මෙවර තරඟාවලියට ක්‍රීඩා කරන මිල අධිකම ක්‍රීඩකයාද ඔහුය.

Share.

Comments are closed.