ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වැනි තර​ඟය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් මෙවර තරඟාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ක්‍රීඩකයෝ, පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බාබාර් අසාම් පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 104 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

එය LPL ඉතිහාසයේ ක්‍රීඩකයකු ලබාගත් සිව්වැනි ශතකය මෙන්ම දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. පැතුම් නිස්සංකගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 188 ක් ලබාගත්තේය. ගෝල් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ටිම් සෙයිෆට් පන්දු 35 කින් නොදැවී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. භානුක රාජපක්ෂ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද, ෂෙවෝන් ඩැනියෙල් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක්ද රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 87කි.

ගෝල් ටයිටන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 3 කට 188

(ලසිත් කෲස්පුල්ලේ 36, ෂොවෝන් ඩැනියෙල් 49, භානුක රාජපක්ෂ 30, ටිම් සෙයිෆට් නොදැවී 54)

කලම්බු ස්ට්‍රයිකර් ස් පිල – ඕවර 19.5 කදී කඩුලු 3 කට 189

(පැතුම් නිස්සංක 54, බාබර් අසාම් 104, මොහොමඩ් නවාස් නොදැවී 14, තබ්‍රේස් ශම්මි 27/2)

Share.

Comments are closed.