පැතුම් නිස්සංක (51) සහ නිපුන් ධනංජය (40) දෙදෙනාගේ සටන්කාමී පිතිහරඹය නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති LPL තරගයේදී බී-ලව් කැන්ඩි කණ්ඩායම පරදවා ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ලකුණු 170 ක ඉලක්කයක් කරා ඇදුණු බී-ලව් කැන්ඩි ක්‍රීඩකයන්ට ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 කි.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ පහළින්ම සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තවත් ප්‍රසාද ලකුණු 2 ක් එකතුකර ගනිමින්, ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් සමගින් සමතැන් ගත්තේය. පිලිමළුන් පිටුදැකීමේ වටයේ අවසන් කණ්ඩායම දෙක අතරට පැමිණීමට ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර ඇත්තේ තියුණු සටනකි.

වනිඳු හසරංග (40), අසීෆ් අලී (33) සහ අෂේන් බණ්ඩාර (22) කැන්ඩි පිල ජයග්‍රහණය කරා ගෙනයාමට බලවත් උත්සාහයක් ගත් නමුත් මතීෂ පතිරණ සහ ජෙෆ්රි වැන්ඩසේ හමුවේ එම උත්සාහය අසාර්ථක විය.

ඇන්ජලෝ මැතිව්ස් සිය මුල් ඕවර දෙකේදීම කඩුළු දෙකක් දවාගත් හෙයින් පස්වැනි ඕවරයේදී දෙවැනි කඩුල්ලත් බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව වූයේ 28 කි. බාබර් අසාම් (9) සහ ළහිරු උදාර (1) දැවී ගොස් තිබිණ. එසේ වුවත්, නිපුන් ධනංජය සමගින් එක්වූ ආරම්භක පිතිකරුවා මුලු ලකුණු සංඛ්‍යාව 97 දක්වා ඉහළ දැමුවේය. දෙදෙනා අතර පැවැති ලකුණු 69 ක සම්බන්ධතාවට පන්දු 46 ක් වැය වී තිබිණ.

අවසන් ඕවර 5 ඇරඹෙන විටත් ලකුණු 127 ක් පුවරුවේ තිබුණ නමුත් පිතිකරුවන් දැවීයාම හේතුවෙන් අවසන් ඕවර 5 ​ට එකතු වූයේ ලකුණු 40 කි.

කලම්බු ස්ට්‍රයිකර්ස් – ඕවර 20 කදී කඩුලු 9 ට 169

(පැතුම් නිස්සංක 51, නිපුන් ධනංජය 40, මොහොමඩ් නවාස් 21, චාමික කරුණාරත්න 17, නුවනිඳු ප්‍රනාන්දු 15, ඇන්ජලෝ මැතිව්ස් 23/2, ඉසුරු උදාන 40/2, වනිඳු හසරංග 2/2)

බී-ලව් කැන්ඩි – ඕවර 20 කදී කඩුලු 8 ට 160 යි

(ෆකර් සමාන් 11, සහන් ආරච්චිගේ 13, වනිඳු හසරංග 40, ඇන්ජලෝ මැතිව්ස් 11, චතුරංග ද සිල්වා 16, අසීෆ් අලී 33, අෂේන් බණ්ඩාර 22, මතීෂ පතිරණ 32/2, ජෙෆ්රි වැන්ඩසේ 39/2)

Share.

Comments are closed.