ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙරට තර​ඟ ආරම්භ කරමින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුළු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 165 ක ඉලක්කය ඕවර 39 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 78 ක සම්බන්ධතාවයෙන් ජයග්‍රහණය පහසුවිය. චරිත් අසලංක පන්දු 92 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය. සදීර සමරවික්‍රම පන්දු 77 කින් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගැනිමින් බංග්ලාදේශ පිල අඩපණ කළේය. බංග්ලාදේශය ශක්තිමත් ස්ථානයක සිටියදී මතීෂ, ප්‍රබලතම පිතිකරු මුස්ෆිකුර් රහීම් (13) පස්වැනි කඩුල්ල ලෙස දවාගනිමින් ශ්‍රී ලංකාව තර​ඟයට රැගෙන ඒමට සමත් විය. බංග්ලාදේශය මුස්ෆිකුර් රහීම් දැවී යෑමට පෙර ඕවර 32.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 127 රැස්කර සිටියේය. නජ්මල් හුසේන් පන්දු 127 කින් හතරේ පහර 7 කි සමගින් ලකුණු 89 ක් රැස්කළේය.

බංග්ලාදේශ පිල ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 164 (මොහොමඩ් නයීම් 16, නජ්මල් හුසේන් 89, තවුහිට් හිඩෝයි 20, මහීෂ් තීක්‍ෂණ 19/2, මතීෂ පතිරණ 32/4)

ශ්‍රී ලංකා පිල ඕවර 39 කදී කඩුලු 5 ට 165 (සදීර සමරවික්‍රම 54, චරිත් අසලංක නොදැවී 62, දසුන් ශානක නොදැවී 14, ශකීබ් අල් හසන් 29/2)

Share.

Comments are closed.