ඔස්​ට්‍රේලියාවට පසුව වැඩිම එක් දින තර​ඟ සංඛ්‍යාවක් අඛණ්ඩව ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමේ වාර්තාව තමන් සතු කර ගැනීමේ අරමුණෙන් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද බංග්ලාදේශය සමග තර​ඟ වැදීමට නියමිතය.

එක්දින තර​ඟ 21 ක් අඛණ්ඩව ජයග්‍රහණය කරමින් 2013 වසරේ දී ඔස්​ට්‍රේලියාව එහි ලෝක වාර්තාව පිහිටුවා ඇත.

පකිස්ථානය (2007 – 2008) තර​ඟ වාරයේදී සහ දකුණු අප්‍රිකාව (2016-2017) තර​ඟ වාරයේදී අඛණ්ඩව තරග 12ක් ජයග්‍රහණය කර එම අඛණ්ඩ වාර්තාවේ දෙවෙනි තැන සමව හිමිකරගෙන සිටී.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා පකිස්ථානයේදී ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවද එක් දින තර​ඟ 12ක් අඛණ්ඩව ජයගනිමින් පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව සමග එම වාර්තාවේ සම තැනට හිමිකම් කීය.

ඒ අනුව අද පැවැත්වෙන තර​ඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව තෙවැනි තැනට පත් කර අඛණ්ඩව ලොව වැඩිම එක්දින තර​ඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායමට හිමි වාර්තාවේ දෙවන ස්ථානයේ තනි අයිතිය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිය.

අද පැවැත්වෙන තර​ඟය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තර​ඟය මෙන්ම මෙවර තරඟාවලියේදී කොළඹ පැවැත්වෙන පළමු තර​ඟයද වේ.

දිවා රාත්‍රී තර​ඟයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සුපිරි වටය යටතේ සහභාගි වන පළමු තර​ඟය ද මෙය වේ.

බංග්ලාදේශය, සුපිරි වටය යටතේ සහභාගි වූ පළමු තර​ඟයෙන් පකිස්ථානය හමුවේ කඩුලු 7 ක පරාජයක් ලැබ පෙරේදා යළි මෙරටට පැමිණියේය.

තරගාවලියේ “B” කාණ්ඩයෙන් තර​ඟ වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත් අතර මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ කඩුලු 5 ක පහසු ජයක් ලැබූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තර​ඟයේදී ඇෆ්ගනිස්තානය හමුවේ තියුණු සටනක නිරතව සුපිරි වටයට පැමිණියේය.

අද තර​ඟය සඳහාද කණ්ඩායම් දෙකම පසුගිය තර​ඟයට ක්‍රීඩා කළ කණ්ඩායම් යෙදවීමට බොහෝ දුරට ඉඩ ඇත.

Share.

Comments are closed.