ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10 වෙනිදා) පැවැති තර​ඟය වර්ෂාව හේතුවෙන් නතර කිරී​මට සිදුවිය. ඒ සඳහා වෙන්කර තිබූ අතිරේක දිනය වන අද (11 වෙනිදා) පස්වරු 3.00 ට නතර කළ තැන සිට යළි තර​ඟය ආරම්භ කිරීමට නියමිතය.

පළමුවෙන් පන්ඳුවට පහරදුන් ඉන්දියාව ඕවර 24.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තර​ඟය නතර කරන මොහොත ව​නවිට කඩුළු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. ඒ වන විට විරාට් කෝලි පන්දු 16 කදී ලකුණු 8 ක්ද, ලෝකේෂ් රාහුල් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

තර​ඟය යළිත් ආරම්භ කිරීම සඳහා විනිසුරුවන් තෙවරක් (රාත්‍රී 7.30 ට, 8.00 ට සහ 8.30 ට) ක්‍රීඩාංගණය පරික්ෂාවට ලක් කළහ. එහෙත් රාත්‍රී 9.00 ට තරගය ආරම්භ කිරී​මට නියමිතව තිබියදී 8.45 ට පමණ යළිත් වරක් වර්ෂාව ඇද හැළීම හේතුවෙන් ඊයේ දිනය සඳහා තර​ඟය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 121 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගු නායක රෝහිත් ශර්මා (56) සහ ශුබ්මන් ගිල් (58) ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්ඳු 49 කට මුහුණදුන් ශර්මා හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්ඳු 52 කදී වාර්තා වූ ගිල්ගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.

ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කළාපයේ පන්ඳු රකිමින් සිටි ෆාහිම් අෂ්යෆ් අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී යෑමත් සමග ඉන්දීය පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. ශහීන් අෆ්රිඩිගේ පන්ඳුවක් හමුවේ ශුඩ්මන් ගිල් දැවී ගියේ කවර් කළාපයේ පන්ඳු රකිමින් සිටි ආගා සල්මාන් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.

Share.

Comments are closed.