2023 අගෝස්තු මාසයේ විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 499.2​ක මුදලක් දිවයිනට යවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි සිට අගොස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ විදේශ රැකියා නියුක්තිකයින් විසින් එවන ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3862.7 ක් වේ.

2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. නීත්‍යානුකූලව බැංකු පද්ධතිය ඔස්සේ දිවයිනට මුදල් එවන ශ්‍රමිකයින් සඳහා තමන් එවන මුදල් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදෙන අතර, භාණ්ඩ මිළදී ගැනීම සඳහා තීරුබදු සහනයන්ද ලබාදෙයි.

කලක් තිස්සේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සිහිනයක්ව පැවති විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමටද කටයුතු කරන ලද අතර, ඒ අනුව මනු සවි දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වේ. එසේම විදේශ රැකියා සඳහා යෑමට බලාපොරොත්තුවන්නන් වෙනුවෙන් කාර්යාංශය මැදිහත් වී පෙර විගමණික ණය පහසුකම්ද ලබාදෙන අතර, ඉදිරියේදී විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට ගුවන් තොටුපොලේදී අවශ්‍ය සහය ලබාදීම හා සිය කාර්යයන් පහසුවෙන් සිදුකර ගැනීම සඳහා Hope Gate නමින් විශේෂ අංශයක්ද ආරම්භ කර ඇත.

Share.

Comments are closed.