ඩුබායි නගරයේ මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අනතුරුදායක ක්‍රියාවල නිරත වූ යතුරුපැදිකරුවන් පිරිසක් හඳුනාගෙන දඬුවම් නියම කිරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ. යතුරු පැදිකරුවන් අංක තහඩු සඟවාගෙන එක රෝදයක් මගින් පැදීම, ධාවනය වන යතුරුපැදියේ නැගී සිටීම වැනි භයානක ක්‍රියාවන් කිහිපයක් සිදු කොට තිබිණි.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතා ප්‍රසිද්ධියට පත් වී තිබි​ණ. යතුරුපැදිකරුවන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වා ඔවුන් රථවාහන සාමාන්‍ය දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර එහිදී ඔවුන් අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ලෙස ධාවනයන් සිදු කළ බව පිළිගෙන ඇත.

ඩුබායි පොලිසියේ රථවාහන අංශයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Saif Muhair Al Mazroui පැවසුවේ, “මෙම අනතුරුදායක ක්‍රියා අතරට අත් භාවිතා නොක​ර පැදවීම, යතුරුපැදියේ නැගී සිටීම සහ එක රෝදයක් මත පැදීම සිදුකො​ට ඇති බවත් ඔවුන්ගේ ආරක්ෂාවට සහ මාර්ගය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන ආකාරයෙන් යතුරුපැදි ධාවනය කොට තිබෙනවා. එපමනක් නොව, නීතිමය ප්‍රතිවිපාකවලින් ගැලවීමට එක් යතුරුපැදිකරුවෙකු යතුරුපැදියේ අංක තහඩුව සඟවාගෙන ධාවනය සිදුකලා.”

යතුරුපැදි රාජසන්තක කර ඇති අතර මාර්ග නීති කඩකිරීම් කිහිපයක් නිකුත් කර ඇත. රථවාහන නීතියට අනුව, එවැනි උල්ලංඝනය කිරීම් සඳහා ඩිරාම් 2000 ක දඩයක්, රථවාහන කලු ලකුණු තුනක් සහ දින 60 ක වාහන රාජසන්තක කිරීමට යටත් වේ.

මීට අමතරව, තම ආරක්ෂාවට සහ අන් අයගේ ආරක්ෂාවට තර්ජනයක් වනලෙ​ස නොසැලකිලිමත් ධාවනය සඳහා ඩිරාම් 50,000 දඩයකට යටත් වේ. එවැනි අපරික්ෂාකාරී හැසිරීම් වල යෙදෙන රියදුරන් සහ යතුරුපැදිකරුවන්ගෙන් 80% ක් දරුණු අනතුරුවලට ලක්ව ඇති බව Al Mazroui පැවසීය.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්භන්ධයෙන් 901 ට හෝ ‘Police Eye’ සේවාව හරහා වාර්තා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.