එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි නීතිපති දෙපා​ර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් ගොදුරු කර ගන්නා ව්‍යාජ මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් කල්ලියකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වංචනිකයින් කණ්ඩායම, වින්දිතයන්​ට වට්ටම් සහිත මිල ගණන් යටතේ දීමනා සමඟ මුදල් හුවමාරු කිරීම​ට වින්දිතයින් පොළඹවා ඇති බවට චෝදනා කර ඇත. සමහර අවස්ථාවලදී සැබෑ මුදල් වටිනාකමින් 50% ක් වැනි ඉහළ අගයක් සඳහා මෙලෙස පෙළඹවීම් කො​ට තිබෙනවා.

වංචනිකයින් සමාජ මාධ්‍ය භාවිතා කිරීමත් සමඟ වංචා මෙහෙයුම් තරමක් සංකීර්ණ වී තිබෙනවා. ඔවුන් විසින් සමාජ මාධ්‍යවල “frozen” හෝ “suspended” ලෙස හඳුන්වනුලබන මුදල්, සැලකිය යුතු වට්ටම් යටතේ ලබා ගත හැකි බව ප්‍රකාශ කරමින් මුදල් හුවමාරුව සඳහා වින්දිතයන් හමුවීම​ට රැස්වීම් ස්ථානයකට ආරාධනා කරනවා.

විමර්ශනයට අනුව, අපරාධ කල්ලියේ සාමාජිකයින් නියමිත ස්ථානයේදී වින්දිතයින් හමුවනු ඇති අතර, එහිදී ඔවුන් ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දෙන අතර, සත්‍ය UAE ඩිරාම් ලබාගෙ​න ඉක්මනින් පලා යාම සිදුකරනවා. වින්දිතයින්ට පසුව වැටහෙනු ඇත්තේ තමන් වංචාවක​ට හසුවී ඇති බවත්, වටිනාකමක් නැති කඩදාසි පමණක් තමාට හිමිවී ​ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපා​ර්තමේන්තුව දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරමින් සිටී.

මේ අතර, ප්‍රවේශම් සහගත ලෙස ක්‍රියා කරන ලෙසත් බලපත්‍රලාභී බලධාරීන් සමඟ පමණක් මුදල් හුවමාරු ගනුදෙනුවල නිරත වන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. බොහෝ විට ඉක්මන් ධනයක් ඉපැයීමට උත්සාහ කරන පුද්ගලයින් ඉලක්ක කරන සමාජ මාධ්‍ය වංචනිකයන්​ගේ ප්‍රවර්ධනයන්ට ගොදුරු නොවන ලෙස ඔවුහු පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියහ.

Share.

Comments are closed.