​ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දිල්ලි නුවර අරුන් පේලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුළු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ, ඕවර 35 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ප්‍රවේකාර පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්ඳු 84 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 131 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. මෙම ඉනිමත් සමග එදා මෙදා තුර ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා (7) බවටත්, ජාත්‍යන්තර තරගවලදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (555) එල්ල කළ ක්‍රීඩකයා බවටත් පත්වීමට රෝහිත්ට හැකි විය.

ඉෂාන් කිෂන් (47) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්ඳු 12 කදී ලකුණු 156 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද රෝහිත් සමත් විය. පිට පිටම දෙවැනි අර්ධ ශකකය ලබාගත් විරාට් කෝලි, ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ අතර පන්ඳු 56 කින් ලබාගත් ඔහුගේ 67 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්ඳුවට පහර දුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුණු 272 ක් ලබාගත්තේය. දක්ෂ පන්ඳු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා සිය ඕවර 10 ලකුණු 39 කට සීමා කරමින් කඩුළු 4 ක් දවාගැනිමට සමත් විය. ලකුණු 43 කට කඩුළු 2 ක් බිඳහෙලූ හර්දීක් පාණ්ඩ්‍යා, ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා බුම්රාට අනගි සහායක් ලබා දුන්නේය.

මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් වන විට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ තෙවැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් අස්මතුල්ලා ඔමර් සායි (62) සමග එක්වූ නායක හෂ්මතුල්ලා ශහිදි (80) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 128 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහිදී පන්ඳු 88 කට මුහුණදුන් ශහිදි, හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය 17 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්ඳු 69 කදී වාර්තා වූ ඔමර් සායිගේ දෙවැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ඔවුන් දෙදෙනා හැරුණු කොට සෙසු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණෙමින් කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වි​ය.

Share.

Comments are closed.