දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර ධරම්ශාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 38 ක පෙරළිකාර ජයක් වාර්තා කිරී​මට නෙදර්ලන්තය සමත් විය. තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති නෙදර්ලන්තය එක්දින ලෝක කුසලාන තරගයකදී ටෙස්ට් වරම් සහිත රටක් පරාජය කළ පළමු අවස්ථාව මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඩේවිඩ් මිලර්, පන්දු 52 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

අවසන් ඕවර කිහිපයේදී හුදෙකලා සටනක නිරත වූ කේෂව් මහරාජ්ද හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 37 කින් ලකුණු 40 ක් රැස්කළ නමුත් එයද දකුණු අප්‍රිකාව පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. ලෝගන් වැන්ඩීක් ලකුණු 60 කට කඩුලු 3 ක් දවාගත් අතර නෙදර්ලන්තයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වැන්ඩර් මර්ව්, බස් ඩි’ලීඩ් සහ පෝල් වැන් මීකිරන් කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය පැය 2 කින් පමාවූ අතර එක් ඉනිමක් ඕවර 43 කට සීමා විය. දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය එහිදී කඩුලු 8 ක් දැවී ලකුණු 245 ක් රැස්කළේය. නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ස්කොට් එඩ්වඩ්ස් පන්දු 69 කින් ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ වැන්ඩර් මර්ව් (29) සහ ආර්යන් දත් (නොදැවී 23) නමවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 41 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩගනමින් නෙදර්ලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 19 කදී වාර්තා වූ මර්ව්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 9 කදී වාර්තා වූ ආර්යන්ගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත විය.

නෙදර්ලන්තය – ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 245

(මැක්ස් ඔඩොව්ඩ් 18, සයිබ්‍රෑන්ඩ් එන්ගලේබ්‍රච්ට් 19, තේජා නිදමනුරු 20, ස්කොට් එඩ්වඩ්ස් 78, වැන්ඩර් මර්ව් 29, ආර්යන් දත් 23, මාකෝ ජැන්සන් 27/2, කගිසෝ රබාඩා 56/2, ලුංගින්ගිඩි 57/2)

දකුණු අප්‍රිකාව – ඕවර 425 කදී සියලු දෙනා දැවී 207

(ටෙම්බා බවුමා 16, ක්වින්ටින් ඩි’කොක් 20, හෙන්රිච් ක්ලාසන් 28, ඩේවිඩ් මිලර් 43, ජෙරල්ඩ් කොයෙට්සර් 22, කේෂව් මහරාජ් 40, ලෝගන් වැන් බීක් 60/3, වැන්ඩර් මර්ව් 34/2, බස් ඩි’ලීඩ් 36/2, පෝල් වැන් මීකිරන් 40/2)

Share.

Comments are closed.