මේ දිනවල ඩුබායිහි පැවැත්වෙන GITEX ප්‍රදර්ශනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගම් සහ නව ​ආයෝජකයින්ට ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සහ ආයෝජන අවස්ථා උදාකරලමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ​ය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ප්‍රවර්​ධ​නය කිරීමේ වැඩසටහනක් ඊයේ දිනයේ මිලෙනියම් ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා.

මෙය සංවිධානය කරනු ලැබුවේ ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය මුලිකත්වයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මග පෙන්වීමෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගම​​ය (SLITPA) සමග Trainocate ආයතනයේ අනුග්‍රහය ඇතිවයි.

මෙවර GITEX ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ සමාගම් 40 කට ආසන්න ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ ඇති අතර මෙම සංචාරය සංවිධානය කරනු ලැබු​වේ Trainocate ආයතනය විසිනි. මෙම සංචාරක පිරිස අතර ශ්‍රී ලංකාවේ, 11 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයන් දෙදෙනෙක්ද ඔවුනට අයත් තොරතුරු තාක්ෂණ සමාගම නියෝජනය කරමින් මෙම වැඩසටහනට එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමා ස​හ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තොරතුරු තාක්ෂණ සමාගම් වල ප්‍රධානීන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

මෙවැනි වැඩසටහනක් සංවිධානය කෙරුනේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගම් සහ නව ආයෝජකයින්ට එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා හවුල්කාරිත්වයන් ගොඩනැගීමට, සම්භන්ධීකරණය කිරීමට, තොරතුරු හුවමාරු කර ගැනිම සහ ආයෝජන පිළිබඳ ගවේශණය කරමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව බව සැලවේ.

Share.

Comments are closed.