කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පසුගියදා විශේෂ හමුවක් පැවැත්විණි.

එහිදී සාකච්ඡා වූ කේන්ද්‍රීය කරුණ වූයේ ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීමයි. මෙම සාකච්ඡාවේදී ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය. ඉතාලි රජය විසින් අනුග්‍රහය දක්වන මෙම වැඩසටහන මගින්, ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකික පුද්ගලයින් සඳහා එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරයි.

මීට අතිරේකව, අමාත්‍යවරයා විසින් ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය. මෙම කෝටා ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳවද අමාත්‍යවරයා විසින් තානාපතිවරයාව දැනුවත් කළේය.

එහිදී තානාපතිවරයා විසින් ඉතාලිය තුල රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතනයක් නොමැතිකම පැහැදිලි කළ අතර එම තත්ත්වය හේතුවෙන් ඉතාලියේ රැකියා වෙළඳපොළ වෙනත් බොහෝ රාජ්‍යන්ට වඩා වෙනස් බවද සඳහන් කරනු ලැබීය.

මේ අතර අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් සඳහා වන පවුල් නැවත එක්වීමේ වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන්ද තානාපතිවරයාව දැණුවත් කළේය. එහිදී ඩී.එන්.ඒ පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය සහ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී සිදුවන බාහිර මැදිහත්වීම් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතාද අමාත්‍යවරයා විසින් අවධාරනය කළේය. මෙම ක්‍රියාවලීන්හි දී බාහිර ඇඟිලි ගැසීම් මැඩලීමට තානාපතිවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ප්‍රශංසාවද පළ කළේය.

Share.

Comments are closed.