ඇෆ්ඝනිස්ථානය සහ නෙදර්ලන්තය අතර ලක්නව් නුවර එකානා ක්‍රීඩංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ ඇෆ්ගනිස්ථානය, ප්‍රසාද ලකුණු සටහනේ 5 ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. මෙවර තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය ලැබූ සිවුවැනි ජය මෙය වන අතර ඔවුන් ලකුණු සටහනේ ඉදිරියට පැමිණියේ පාකිස්ථානය පසුපසට ඇද දමමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ, ඕවර 31.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හෂ්මතුල්ලා ඔමර්සායි පන්දු 64 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

රාමට් ෂා (52) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෂ්මතුල්ලා, ඉන් නොනැවතී අස්මතුල්ලා ඔමර්සායි (නොදැවී 31) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 52 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 46.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබාගත් අතර නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සයිබ්‍රෑන්ඩ් එන්ගල්බෙච්ට් පන්දු 86 කින් ලකුණු 58 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නබී ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත්තේය.

නෙදර්ලන්තය – ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 179

(මැක්ස් ඔඩොව්ඩ් 42, කොලින් ආක්මන් 29, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බෙච්ට් 58, මොහොමඩ් නබී 28/3, නූර් අහමඩ් 3/2)

ඇෆ්ඝනිස්ථානය – ඕවර 27.5 කදී කඩුලු 3 ක් දැවී 181

(ඊබ්‍රහීම් සද්‍රාන් 20, රාමට් ෂා 52, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 56, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 30)

Share.

Comments are closed.