එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන ගමන අවසාන කරමින්, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ​ඊ​යේ පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 33 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය තහවුරු කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග දෙකක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ලකුණු 287 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායම ඕවර 48.1 කදී ලකුණු 253 කට දැවී ගියේය. එංගලන්ත පන්දු යවන්නන් නියමිත කාල ප්‍රාන්තර ඇතිව කඩුළු දවාගත් බැවින් ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 300 කඩයිම පැනීමට බැරිවිය. එහෙත් ඔවුන් ලබාගත් ලකුණු 286 තරගය ජයගැනීම ප්‍රමාණවත් විය. එය එංගලන්ත කණ්ඩායම එක්දින තරග 7 කදී ලබාගත් 6 වැනි පරාජයයි. ඕස්ට්‍රේලියානුවන්ට නම් එක්දින තරග 7 කදී පිට පිටම ලබාගත් පස්වැනි ජයග්‍රහණයයි.

තරගයේ අවසන් ඕවර 6 දී කඩුළු 2 ක් පමණක් අතැතිව සිටි එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 63 ක් අවශ්‍යව තිබිණ. එහෙත් ඔවුන් ලකුණු 30 ක් ලබාගන්නා අතරේ පිතිකරුවෝ දෙදෙනාම දැවී ගියහ. එංගලන්තය විනාශයට ඇද දමන ලද්දේ සිය ඕවර 10 ලකුණු 21 කට සීමාකරමින් කඩුළු 3 ක් දවාගත් ඇඩම් සම්පා විසිනි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මානස් ලැබුෂේන් ලකුණු 71 ක් ලබාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 54 කට කඩුළු 4 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අපේක්ෂිත ඉලක්කය කරා යාමට ඉඩ නොතැබීය. වේග පන්දු යවන්නකු වන මාක් වුඞ් (70/2) සහ අදිල් රෂීඞ් (38/2) දෙදෙනාගෙන් වෝක්ස්ට හොඳ සහයෝගයක් ලැබිණ.

ඕස්ට්‍රේලියාව – ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 286 යි

(ට්‍රැවිස් හෙඞ් 11, ඬේවිඞ් වෝනර් 15, ස්ටීවන් ස්මිත් 44, මානස් ලැබුෂේන් 71, කැමරන් ග්‍රීන් 47, මාකස් ස්ටොයිනිස් 35, පැට් කමින්ස් 10, මිචෙල් ස්ටාක් 10, ඇඩම් සම්පා 29, ක්‍රිස් වෝක්ස් 54/4, මාක් වුඞ් 70/2, අදිල් රෂීඩ් 38/2)

එංගලන්තය – ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 253 යි

(ඩේවිඩ් මාලන් 50, ජෝ රූට් 13, බෙන් ස්ටෝක්ස් 64, මොයින් අලී 42, ක්‍රිස් වෝක්ස් 32, ඩේවිඩ් විලී 15, අදිල් රෂීඩ් 20, මිචෙල් ස්ටාක් 66/2, ජොස් හේසල්වුඩ් 49/2, පැට් කමින්ස් 49/2, ඇඩම් සම්පා 21/3)

Share.

Comments are closed.