2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත් හෙවත් අයවැය වාර්තාව අද (13) මුදල් අමාත්‍යවරයා ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

“පීලි පැන තිබූ ,  ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අය වැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. ඒ මහතා තව දුරටත් සිය අය වැය කථාවෙන් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය බාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නෑ. අන්දරේ ගල ඉස්සුවා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූලව ඉටු කරන්න බැරි කොන්දේසි දැම්මා.

ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට බාර ගත්තෙ. ඒ වෙලාවෙ මම බාරගත්තෙ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත්වුණු රටක්. පීලි පැන, හතර ගාතෙ ඇද වැටී තිබුණු ආර්ථිකයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන මාර්තු මාසයේ අනුමත වූ දා සිට අපට යළි ලැබෙන්නට පටන් ගත් විදේශීය මූල්‍ය ආදායම් නැවතෙනවා. යළිත් පොලී අනුපාත ඉහළ දමමින් දේශීය වෙළෙඳපොලෙන් තව තව ණය ගැනීමට රජයට සිද්ධ වෙනවා.

එහෙම වුණොත් අපි නැවතත් ආර්ථික අපායට ලිස්සා ඇද වැටෙනවා. අපේ ආර්ථිකය යළි කෙළින් කරන්න බැරි අන්දමට පීලි පනිනවා. මතක තියාගන්න. ආපහු එහෙම වුණොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ බාහිර ණය හිමියන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලු පාර්ශවයන් අප ගැන තබා ඇති විශ්වාසය කඩවෙනවා. අපිට උරුම වෙන්නේ ලෙබනනය වැනි රටකට අත්පත් වූ අවාසනාවන්ත තත්ත්වයයි.

එවැනි තත්ත්වයකට යළි ඇද නොවැටීම නම් අපේ රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය අලූතෙන් නිර්මාණය කළ යුතුයි. අලුත් සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. මේ අයවැය ලේඛනයෙන් අප කළේ ඊට පදනම දැමීමයි.

තව දුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත්වෙන්නට අපට බැහැ. නිදහසෙන් පසු අපේ මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ඔය ව්‍යාපාරය අප සිදු කළේ අපේම මුදල්වලින්. ඒ කාලයේ අප බ්‍රිතාන්‍යයටත් ණය ලබා දුන්නා. ඒත් අද අපි මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා. ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර හිමිකමක් ද?

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් නිසා රටේ ජනතාව පීඩා විඳිනවා. ඒවායේ පාඩුව සම්පූර්ණයෙන්ම දරන්නෙ ජනතාව. ඒවා ජාතික සම්පත් කිය කියා තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් කරන්නේ රට ආපස්සට ඇදීමක්.  අවුරුද්දකට කලින් අපේ රටේ තත්ත්වයට වඩා දැන් තත්ත්වය යහපත්. මම මේ කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයකට පත්වෙලා කියලා නෙවෙයි. එදාට වඩා සංසන්දනාත්මකව අද යහපත්. ඒ තත්ත්වය අප ලබා ගත්තේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්, කැපවීම් කරමින්, අමාරුකම් හමුවේ ජීවිත ගැටගසා ගනිමින්.

පඩි වැඩි කිරීම ගැනත් මම වචනයක් සඳහන් කළ යුතුයි. පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් සියයට 35 ක් වැයවෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කරගන්න ඕනෑ.

රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.

රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරවිය යුතුයි. මම පසුගිය අයවැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා. සුගතපාල ද සිල්වා ‘මරා සාද්’ නාට්‍යයේ කියන පරිදි  – කොට්ට උරයක් මෙන් කණපිට හරවා, අලුත් ඇහැකින් බැලියි යුතුයි.

අතීතයේ සිට අපේ රටේ මුල් බැස තිබූ සමාජ සම්මුතිය වූයේ රජය සියලූ දේ සිදු කළ යුතුයි යන්නයි. ඒ නිසා තමයි පුද්ගලික ව්‍යාපාර අඩපණ කරමින්, ඒ ව්‍යාපාර පවරා ගනිමින් සියලු ව්‍යවසායික කාර්යයන්ට රජය මැදිහත් වුණේ. හැබැයි ඒ සමාජ සම්මුතිය අසාර්ථක, යල් පැන ගිය එකක් බව දැන් තහවුරු වෙලා තියෙනවා.

අතීත අත්දැකීම්, ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි.

මේ අයවැය මැතිවරණ අයවැයක් කියා සමහරු හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන නිසා. මැතිවරණ අයවැයකින් කරන්නේ ඡන්දය දිනාගැනීමේ අරමුණ ඇතිව කෙළවරක් නැති සහන සහ පඩි වැඩිවීම් ලබා දීම. නිදහසින් පසු අවුරුදු 75 ක කාලය තුළ බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ එයයි.

හැබැයි මේ අයවැය වෙනස්. මේ අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්. වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක්. සවිමත් අනාගතයක පෙරවදනක්.

මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි. මේ අයවැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක්. බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සකස් කළ අයවැයක්. සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන රටටත්, රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් කර තියෙනවා. “

අයවැය යෝජනා ,

* රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩිකිරීමට යෝජනා කරයි

* සියලු රජයේ සේවකයින්ට පෙර පරිදිම අපදා ණය ලබා දීමට කටයුතු කරයි

* සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහන තුන්ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවයි

* වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා 2024 අප්‍රේල් සිටි සියලුම සේවක වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩිකරයි

* ආබාධිත, වකුගඩු දීමනාව 7500ක් දක්වා වැඩිකිරීමට යෝජනා කරයි

* කොළඹ නාගරික නිවාසවල ආඩු ආදායම් ලාභී පවුල්වලින් කුලී අයකිරීම මම සම්පූර්ණයෙන් නවත්වයි

* ඒ පවුල් සඳහා සම්පූර්ණයෙන්ම නිවාස අයිතිය ලබාදීමට තීරණයක්

* වතු ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙයි

* 2024 වසරේ සිට ක්‍රමාණුකූලව ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදේ

* උසස් පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක්.

* නව තාක්ෂණික විශ්වවිද්‍යාල 04ක් පිහිටුවයි

* පෞද්ගලික අංශයටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලැබෙයි

* ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 10ක් වෙන් කෙරේ.

* පාලම් ඉදිකිරීම් සඳහා මිලියන 2,000ක් වෙන් කෙරේ.

* අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා විද්වතුන් 25ක් පත් කරයි.

* 2024 වසරේ සිට ක්‍රමාණුකූලව ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදෙයි

* බිම් සවිය වෙනුවෙන් රුපියල් මිලියන 600ක්

* වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා 09 වෙත පැවරීමට යෝජනා කෙරේ.

* තොරතුරු තාක්ෂණය උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්.

* සරසවි වරම් නොලබන අයට දේශීය සහ විදේශීය රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක්. පුහුණු පාඨමාලා වැඩිදියුණු කෙරේ.

* ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව සඳහා පුළුල් වැඩපිළිවෙළක්.

* සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය යළිත් ආරම්භ කෙරෙයි.

* රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වැඩිදියුණු කරනවා. එම වැඩපිළිවෙළ පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කරයි * රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති

Share.

Comments are closed.