ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් Jebel Ali සහ Al Qusais හි ඩුබායි මෙට්‍රෝ ඩිපෝවල මෙන්ම Al Safouh හි ට්‍රෑම් රථ ගබඩාවේ සූර්ය බලශක්ති පැනල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 2024 පළමු කාර්තුව වන විට නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය මගින් සූර්ය බලශක්තිය මෙගාවොට් 9,959ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙ​රේ.

මෙම ව්‍යාපෘතිය හරහා RTA විසින් ඩුබායි රජයේ “Shams Dubai” වැඩසටහන සහ ඩුබායි “Clean Energy Strategy” ක්‍රියාවට නැංවීමට උත්සාහ කරයි. පොදු ප්‍රවාහනය, ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිත පහසුකම් සහ අපද්‍රව්‍ය කළමනාකරණය යන ප්‍රාථමික අංශ තුන කෙරෙහි අවධානය යොමු කරමින් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟාවීම ඉලක්ක කරගත් RTA හි දිගුකාලීන උපාය මාර්ගය සාක්ෂාත් කර ගැනීමට ද එය දායක වේ.

සූර්ය බලශක්ති​ය තිරසාර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රධාන අංගයක් වන අතර, පහසුකම්වල ස​හ යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට RTA දරන ප්‍රයත්නයන්ට සහාය වේ. එපමණක් නොව, සූර්ය පැනල පිරිවැය​ද ඉතිරි කරයි, සම්පත් සංරක්ෂණය කරයි, කාබන් විමෝචනය අඩු කර​න අත​ර පාරිසරික තිරසාරත්වය වැඩි කරයි.

සූර්ය පැනල ස්ථාපනය කරනු ලබන්​නේ මූලික අදියර දෙකක් යටතේය. ආරම්භක අදියර වන්නේ සූර්ය බලශක්ති පැනල ස්ථාපනය කිරීම වන අත​ර දෙවන අදියරට විදුලි සැකැස්ම ඇතුළත් වන අතර, විදුලි රැහැන් ඇදී​ම සහ සූර්ය බලශක්ති පද්ධතිය සඳහා සම්බන්ධතා ස්ථාපනය කිරීම ඇතුළත් වේ. මෙමගින් වාර්ෂිකව ටොන් 3,962ක කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මුළු සූර්ය බලශක්ති නිෂ්පාදනය, ජෙබෙල් අලි මෙට්‍රෝ ඩිපෝවේ මෙගාවොට් 3,165ක්, අල් කුසයිස් මෙට්‍රෝ ඩිපෝවේ මෙගාවොට් 3,804ක් සහ අල් සෆූ ට්‍රෑම් ඩිපෝවේ මෙගාවොට් 2,990ක් වේ. සූර්ය පැනල වල අපේක්ෂිත ආයු කාලය වසර 25 සිට 30 දක්වා ​වේ.

RTA විසින් ගොඩනැගිලි සහ පහසුකම් මත සූර්ය පැනල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යට​තේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු විද්‍යා​​ව, ව්‍යාපෘති සහ සමාගම්වල ජයග්‍රහණ සඳහා කීර්තිමත් කලාපීය සම්මානයක් වන “MEP Middle East” සම්මාන​ය හිමිකරගෙන ඇත.

Share.

Comments are closed.