එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ලොරි 10ක් ඊයේ ගාසා තීරයට ඇතුල්වූ අතර, ඊශ්‍රායල හමුදා විසින් වටලනු ලැබූ ප්‍රදේශයේ සිටින දහස් ගණන් පලස්තීනු ජාතිකයන් සඳහා අවශ්‍ය ආහාර ටොන් 247කට වඩා එහි අඩංගු වෙනවා.
ඊශ්‍රායල්-ගාසා යුද්ධයට හසුවූ සිවිල් වැසියන්ට, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් පිරිනමනු ලබන අඛණ්ඩ මානුෂීය සහයෝගයේ කොටසක් ලෙසයි මෙලෙස ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 16,520ක් රැගත් රථ පෙළ එහි ලඟාවී ඇත්තේ. ගාසා තීරයේ හමාස් සහ ඊශ්‍රායලය අතර සටනේ දින හතරක විරාමයක, තුන්වන දිනයේදීයි මෙම තීරණාත්මක සැපයුම් ලබා දී ඇත්තේ.
හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය වෙත එල්ලකල ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයේ මිලියන 2.3කට වැඩි පලස්තීනුවන් පිරිසක් දැඩි සහ අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හා ගොඩබිම් ප්‍රහාර වලට ලක්වී තිබෙනවා. හමාස් සංවිධානය ඊශ්‍රායල ජාතිකයන් 1200ක් පමණ ඝාතනය කර 200ක් පමණ ප්‍රාණ ඇපයට ගත් අතර ඊශ්‍රායලයේ ප්රතිප්රහාරවලින් 14,500කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
යුද්ධය ආරම්භ වූ දා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර ලබා දී තිබෙන අතර ගාසා තීරයේ මානුෂීය මෙහෙයුමක් ආරම්භ කරන ලෙස අතිගරු ජනාධිපති ෂෙයික් මොහොමඩ් ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරියාට නියෝග කළේය.
Gallant Knight 3 මෙහෙයුම යටතේ සහයෝගය ලබා දීම සඳහා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්, කලීෆා බින් සයීඩ් අල් නයාන් පදනම සහ සයීඩ් බින් සුල්තාන් පුණ්‍යායතන සහ මානුෂීය පදනම ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සංවිධාන සමග එක්ව කටයුතු කරන ලෙස ෂෙයික් මොහොමඩ් අණදී තිබෙනවා. සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සහ අබුඩාබිහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට මෙම මුලපිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි බව ඔහු පවසා තිබේ.
Gallant Knight 3 හි කොටසක් ලෙස ගාසා තීරයේ ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මීට පෙර නිවේදනය කළේය. රෝහල ඇඳන් 150 කින් යුක්ත වනු ඇති අතර එහි සාමාන්‍ය ශල්‍යකර්ම, විකලාංග, ළමා හා නාරිවේද ඒකක, වැඩිහිටියන් සහ ළමුන් සඳහා මෙන්ම දන්ත වෛද්‍ය, මනෝ වෛද්‍ය, පවුල් වෛද්‍ය සහ අභ්‍යන්තර වෛද්‍ය පහසුකම් වලින් සමන්විත වෙනු ඇති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එහි රෝහල්වල පලස්තීන පිළිකා රෝගීන් 1000කට ප්‍රතිකාර කිරීමට නියමිත බව ෂෙයික් මොහොමඩ් පසුගිය සතියේ නිවේදනය කළේය. මෙම පියවර ගෙන ඇත්තේ තුවාල ලැබූ ළමුන් 1000 ක් අතරින් පළමු දරුවා ගුවන් යානයකින් අබුඩාබි වෙත පැමිණ පැය කිහිපයකට පසුවය. බොහෝදෙනෙකුට අහිමි වූ අත් පා සහ පිළිස්සුම් සඳහා සංකීර්ණ ප්‍රතිකාර අවශ්‍ය වේ.
රෝගීන් 2,000 ක් පවුලේ සාමාජිකයන් හෝ භාරකරුවන් සමඟ ප්‍රතිකාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට නියමිතය.
මේ වනවිට පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවය ප්‍රදර්ශනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා පරිත්‍යාග සහ ආධාර එකතු කිරීමේ ව්‍යාපාර ගනනාවක් පවත්වා තිබෙනවා.