ඩුබායිහි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් ‘Cop 28’ සමුළු​ව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමයි. ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘Cop 28’  සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

‘Cop 28’ සමුළුව රාජ්‍යයන් 54 ක නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30දා සිට ඩුබායිහි දී පැවැත්වෙන අතර එහි දී දේශගුණික විපර්යාස ගැන මෙන්ම ණය ස්ථායීකරණය ගැන අතිරේක සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට ද සැලසුම් කොට තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන වල අනුග්‍රාහකත්වය යටතේ තරුණ තරුණියන් 20 ක් පම​ණ මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඔවුන් මෙම අතිරේක සාකච්ඡා වලට සහභාගී වීමට නියමිතය.

රජය නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ය​න මහත්වරු ඇතුළු 15 ක පමණ දූත පිරිසක් මී​ට සහභාගී වෙති.

Share.

Comments are closed.