ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) Bill & Melinda Gates පදනමේ (BMGF) සම සභාපති Bill Gates මහතා සමඟ උපාය මාර්ගික හමුවක් පැවැත් විය. ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කිරීම සහ ලෝකයේ නිවර්තන කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව වැඩිදියුණු කිරීම සඳහා වූ සහයෝගීතා ප්‍රයත්නයන් පිලිබද මෙහිදී සාකච්ඡාවට ලක් විණි.

මෙම රැස්වීමේදී, ශක්තිමත් සහ දේශගුණයට ඔරොත්තු දෙන ජාතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට Bill & Melinda Gates පදනමේ වෑයම පිලිබද ගේට්ස් ප්‍රකාශ කළේය. දැනටමත් ශ්‍රී ලංකාව තුළ කටයුතු ආරම්භ කරමින් සම්බන්ධ වී සිටින මෙම පදනම, ශ්‍රී ලංකාව සමඟ සිය සබඳතාව වඩාත් පුළුල් කිරීමට ප්‍රතිඥා දී ඇත. කෘෂිකාර්මික නවීකරණය සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධති පිහිටුවීම වැනි විශේෂිත ක්ෂේත්‍ර කෙරෙහි අවධානය මෙහිදී යොමු කෙරේ. ඩිජිටල් පොදු යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශගුණය සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ විශේෂඥතාව ඉහළ නැංවීම ද සහයෝගීතාවයේ අරමුණයි.

මෙම තිරසාර ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා BMGF හි සහය අපේක්ෂා කරමින් COP28 හි ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ හරිත මූලාරම්භයන් ජනාධිපති වික්‍රමසිංහ විසින් අවධාරණය කරන ලදී. දැවෙන පාරිසරික ගැටළු විසඳීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා ගෝලීය ප්‍රයත්නයේදී සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්තද අවධාරණය කළේය.

Share.

Comments are closed.