ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (05) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි. බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන ප්‍රදර්ශනය විවෘත විය.
නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කු ආකෘතියක් යන කෞතුක භාණ්ඩ 06ක් මෙම කෞතුක භාණ්ඩ අතර වේ. වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති බව සඳහන් ය.
පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.
මෙම කෞතුක භාණ්ඩ දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිත අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබාහ් (Bonnie Horbach), ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සජානි කස්තුරිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.