ඩුබායි හි Coca Cola Arena හි පැවති IPL වෙන්දේසියේදී, එදා මෙදා තුර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. එළ​ඹෙන වසර 3 ක කාලය සඳහා ඔහුගේ සේවය මිලදී ගැනීම වෙනුවෙන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 24.75 කි. එය දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 97 ක් ඉක්මවනු ඇත.

ගුජරාට් ටයිනස් කණ්ඩායමේ හිමිකරුවන් සමග පැවැති කරට කර ලන්සු තැබීමකින් අනතුරුව මිචෙල් ස්ටාක් සිය කණ්ඩායමට ඇතුළත් කරගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ. ස්ටාක් සඳහා කෝටි 24.75 ක විශාල ලන්සුවක් තැබීමට පෙර එතෙක් පැවැති ඉහළම ලන්සුව වූයේ ඕස්ටේලියානු තුන් ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස් වෙනුවෙන් තබා තිබූ ඉන්දීය රුපියල් කෝටි 20.4 ක ලන්සුවය.

චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන් පැට් කමින්ස් වෙනුවෙන් ලන්සු තැබීම ආරම්භ කළ අතර පසුව එය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර ද්වන්ද සටනක් බවට පත් විය. එය ඉන්දීය කෝටි 18.5 සීමාව පසුකර යෑමත් සමග එතෙක් ක්‍රීඩකයකු වෙනුවෙන් ඉදිරිපත්වූ ඉහළම ලන්සුවට හිමිකම් කීමට කමින්ස්ට හැකි විය. 2023වසරේදී වැඩිම මිලකට හෙවත් කෝටි 18.5 කට අලෙවි වී තිබුනේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සෑම් කරන්ය.

මේ අතර නවසීලන්ත පිතිකරු ඩැරිල් මිචෙල් ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත්, බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝෂප් ඉන්දීය කෝටි 11.5 ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටත් අලෙවි වූහ. වැඩිම මිලකට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටේල්ය. ඉන්දීය රුපියල් කෝටි 11.75 ක මුදලකට ඔහුගේ සේවය මිලදී ගනු ලැබුවේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසිනි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුලික ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක කෝටි 4.6 ක මුදලකට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් විය. එම මුදල දල වශයෙන් ශ්‍රී ලංකා රුපිලය් කෝටි 16 කට ආසන්න විය.

ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුලික ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, එම මූලික ලන්සුවටම මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

පස්වරු 6 වන විට විදෙස් ක්‍රීඩකයන් 14 දෙනෙක් සහ ඉන්දීය ක්‍රීඩකයන් 11 දෙනෙක් කණ්ඩායම් 10 අතරේ බෙදී ගොස් තිබූ අතර ක්‍රීඩකයන් 25 දෙනෙක් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ද විය.

අලෙවි වූ විදෙස් ක්‍රීඩකයෝ: (මිල ගනන් ඉන්දියන් රුපියල් වලින්)

  • මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියා​ව) – කෝටි 24.75 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
  • පැට් කමින්ස් (ඕස්ට්‍රේලියා​ව) – කෝටි 20.5 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
  • ඩැරිල් මිචෙල් (නවසීලන්තය) – කෝටි 14 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
  • අල්සාරි ජෝෂප් (බටහිර ඉන්දීය කොදෙව්) – කෝටි 11.5 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට
  • රෝමන් පවෙල් (බටහිර ඉන්දීය කොදෙව්) – කෝටි 7.4 කට රාජස්ථාන් රෝයල්ස් පිලට
  • ට්‍රැවීස් හෙඩ් (ඕස්ට්‍රේලියා​ව)- කෝටි 6.8 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
  • ජෙරල්ඩ් කොයෙට්සර් (දකුණු අප්‍රිකාව) – කෝටි 5 කට මුම්බායි ඉන්ද්‍රියන්ස් පිලට
  • ඩිල්ෂාන් මධුෂංක (ශ්‍රී ලංකාව) – කෝටි 4.6 කට මුම්බායි ඉන්ද්‍රියන්ස් පිලට
  • ක්‍රිස් වෝක්ස් (එංගලන්තය) – කෝටි 4.2 කට පන්ජාබ් කිංග්ස් පිලට
  • හැරී බෘක් (එංගලන්තය) – කෝටි 4 කට දිල්ලි කැපිටල්ස් පිලට
  • රචින් රවින්ද්‍ර (නවසීලන්තය) – කෝටි 1.8 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
  • වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) – කෝටි 1.5 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
  • අස්මතුල්ලා ඔමර්සායි (ඇෆ්ඝනිස්ථානය) – ලක්ෂ 50 කට ගුජරාට් ටයිටන්ස් පිලට
  • ටිෆ්‍රස්ටන් ස්ටබ්ස් (දකුණු අප්‍රිකාව) – ලක්ෂ 50 කට දිල්ලි කැපිටල්ස් පිලට

අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයෝ :

  • හර්ෂාල් පටේල් – කෝටි 11.75 කට පන්ජාබ් කිංග්ස් පිලට
  • සමීර් රිස්වි – කෝටි 8.4 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
  • ශාරුක් ඛාන් – කෝටි 7.4 කට ගුජරාට් ලයන්ස් පිලට
  • ශිවම් මාවි – කෝටි 6.4 කට ලක්නව් සුපර් ජයන්ට් පිලට
  • ශිවම් ඩූබේ – කෝටි 5.8 කට රාජස්ථාන් රෝයල්ස් පිලට
  • උමේෂ් යාදව් – කෝටි 5.8 කට ගුජරාට් ටයිටන්ස් පිලට
  • ජයදේව් උනාඩ්කට් – කෝටි 1.6 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට
  • ශර්දුල් ඨාකූර් – කෝටි 4 කට චෙන්නායි සුපර් කිංග්ස් පිලට
  • කේ.එස්. භාරත් – ලක්ෂ 50 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
  • චේතන් සාකරියා – ලක්ෂ 50 කට කොල්කටා නයිට්රයිඩර්ස් පිලට
  • අර්ෂින් කුල්කර්නි – ලක්ෂ 29 කට ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට
Share.

Comments are closed.