පසුගියදා නිකුත් කරන ලද නව නියෝගයකට අනුව ඩුබායිහි වැසියන්ට තමන්ට හිමිකමක් නොමැති ඉඩමක ගොවිපල ආරම්භකිරීම, පවත්වාගෙනයා​ම හෝ සීමාවන් වෙන් කිරීමට අවසර නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායිහි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්, විසින් ඩුබායිහි ගොවිපල නියාමනය කරමින් 2023 අංක 61 දරන නියෝගය නිකුත් කරන ලදි.

මෙම නියෝගය ඩුබායිහි ආහාර සුරක්ෂිතතා උපාය මාර්ගය සහ ඉහළම මහජන සෞඛ්‍ය සහ ආරක්‍ෂ​ක ප්‍රමිතීන් සහතික කිරීමට ඇති කැපවීම සමඟ සමපාත වේ. එය පරිසරයේ අඛණ්ඩතාව සහ සෞන්දර්යාත්මක ආකර්ෂණය පවත්වා ගැනීම, සැලසුම් නොකළ ගොවිපලවල් පැතිරීම වැළැක්වීම සහ ඩුබායි පශු සම්පත් සංවර්ධනය සහ සුබසාධන කටයුතු පෝෂණය කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරයි.

ඩුබායි Camel Racing Club විසින් අධීක්‍ෂණය කරනු ලබ​න ඔටු ස​හ අශ්ව රේසිං සඳහා කැප වූ ස්ථා​න, ඩුබායි මහ නගර සභාව විසින් සංවිධානය කරනු ලබ​න ශීතකාලයේ පවත්වනු ලබන කඳවුරු හෝ ඩුබායි පාලකයාගේ තීරණයක් මගින් නම් කරන ලද වෙනත් ස්ථා​න හැර, නියෝගයේ විධිවිධාන, ඩුබායිහි පුරවැසියන් සඳහා වෙන් කර ඇති ගොවිපල සඳහා අදාළ වේ.

ඩුබායි මහ නගර සභාව, ඩුබායි පාලකයාගේ කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන්, එහි ගොවිපල සඳහා වෙන් කර ඇති ප්‍රදේශ සහ ඉඩම් අනුමත කිරීමේ වගකීම දරයි. මීට අමතරව, ගොවිපළ පශු සම්පත් අධීක්ෂණය කිරීම, සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ පශු වෛද්‍ය, රෝග නිවාරණ සහ චිකිත්සක සේවා ලබා දෙනු ඇත. සත්ව ලියාපදිංචිය සහ පශු සම්පත් ආශ්‍රිත රෝග සහ වසංගත සම්බන්ධ ගැටළු කළමනාකරණය කිරීම සඳහා ද එය වගකිව යුතුය.

ගොවිපල ප්‍රතිපාදන සහ ඉදිකිරීම් පාලනය කරන රෙගුලාසි යට​තේ ප්‍රතිලාභීන්ගේ වගකීම් මෙම නියෝගයෙන් දක්වා ඇත. ඩිරාම් 1,000 සිට ඩිරාම් 100,000 දක්වා වූ උල්ලංඝනය කිරීම් සඳහා දඩ සහ දඬුවම් ද නියම කරයි. එම වසරේම නැවත නැවතත් සිදුකර​න වැරදි සඳහා දඬුවම් දෙගුණ කළ හැක.

දැනට සිටිනා සියලුම ප්‍රතිලාභීන් මෙම නියෝගය ක්‍රියාත්මක වන දින​යේ සිට මාස තුනක් ඇතුළත එහි විධිවිධාන සමඟ අනුගත විය යුතුයි. මෙම කාල සීමාව දීර්ඝ කිරීමේ බලය හිමිවන්නේ උත්තරීතර කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරියාටය.

මෙම නියෝගය එයට පටහැනි වෙනත් ඕනෑම නීතියක් අවලංගු කරයි. නියෝගය නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ දින සිට බලාත්මක වේ.

Share.

Comments are closed.