දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ  බදු අංකය (ටිප් අංකය) නොගන්නා තැනැත්තන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී ඔවුන්ට රු. 50,000 නොඉක්මවන දඩයකට යටත් වීමට සිදුවනු ඇති බවත්ය.
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එදිනට හෝ එදිනට පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගත යුතු වේ.
එය අනිවාර්ය කරුණක් වන අතර තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු රු. ලක්‍ෂ 12 කට වැඩි ආදායමක් ලබන්නේ නම් ඔවුන් ආදායම් බද්ද සඳහා ද ලියාපදිංචි විය යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගගතව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙම ලියාපදිංචිය ලබා ගත හැකිය. ‘ඊ’ සේවාව හරහා ලියාපදිංචි වීමේදී තම ජාතික හැඳුනුම්පතේ දෙපැත්තම ස්කෑන් කළ pdf පිටපතක් උඩුගත කළ යුතුයි. මේ අතර ඊයේ සිට වාහන ලියාපදිංචි කිරීමේදී ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී සහ දේපළ මිලදී ගැනීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට ගෙන තිබූ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලේය.

Share.

Comments are closed.