වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් “අද දවසේ ඉන්දියානු සාගර කලාපයේ හරිත ඉන්ධන භාවිතය හා ඉන්ධන මෙහෙයුම්” (Sri Lankan Forum on Green Hydrogen and E-fuels Bunkering in The Indian Ocean today) සමුළුව පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති “ශ්‍රී ලංකා ඉතාලි නීල ආර්ථික සංගමය හෙවත් The Ceylon Italy Blue Economy Association (CIBEA) විසින් මෙම සමුළුව සංවිධානය කළ අතර, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ඉතාලියේ ජිනෝව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයයි. ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ වෙනුවෙන් වන ශක්‍යතා අධ්‍යනය මාස දෙකක් තුළ නිම කිරීමට නියමිත ය. CIBEA විසින් මෙම ව්‍යාපෘතියට නියමිත ප්‍රතිපත්ති හා රීති සම්පාදනය මෙන්ම ආයෝජනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ද ලබා දීමට නියමිත අතර, මෙය ඉතාලි හා ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය අනුග්‍රහය මත සිදු කරන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ  භූගෝලීය  පිහිටීම, ගෝලීය වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ (Shipping & Maritime)   සංවර්ධනය සඳහා උපාය මාර්ගිකව වැදගත් වේ.  ඒ සදහා  හේතු වන්නේ ශ්‍රී ලංකාව ඉන්දු පැසිෆික් නාවික සේද මාර්ගයට (Maritime silk rout) නාවික සැතපුම් 07ක් පමණ ආසන්නයෙන් පිහිටා තිබීම වෙයි.

එම උපායමාර්ගික පිහිටීම අනුව, සමුද්‍ර ප්‍රවාහනයේ දී දැනට යොදා ගන්නා බලශක්ති ප්‍රභවය ලෙස භාවිතා කරන පොසිල ඉන්ධන වෙනුවට ‘හරිත ඉන්දන’ (හයිට්‍රජන්, එතොනෝල්, ඇමෝනියා) භාවිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා ඒ සදහා යෝජිත ‘හරිත ඉන්ධන’ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියානු සාගර කලාපයේ වඩාත් යෝග්‍යම ස්ථානය  ත්‍රීකුණාමලය බවට මේ වන විට  හඳුනාගෙන තිබේ.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ඉතාලියානු තානාපති අතිගරු ඩැමියානෝ ප්‍රන්කොවිග්, (H.E. Damiano Francovigh) වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ඒස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, CIBEA හී සභාපති විටෝරියෝ කොකෝ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීත්ව හා සූම් තාක්ෂණය ඔස්සෙ සහභාගී විය.

Share.

Comments are closed.