ඉන්දියාව සමඟ ඇතිකරගත් රාජ්‍යතාන්ත්‍රික මතභේදය ,මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය. ලෝක සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම ගමනාන්තයක් වන මාලදිවයිනේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් එරට සංචාරක ව්‍යාපාරය මත රැඳී පවතින බවත් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය මත ඉන්දීය සංචාරකයන් මාලදිවයිනෙන් ඈත්වීම දැඩි ආර්ථික පසුබෑමකට ඉවහල් වනු ඇති බවත් ආසියාතික ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් වේ.
පසුගිය වසරේ නොවැම්බරයේදී මාලදිවයිනේ නව ජනාධීපතිවරයා ලෙස පත් වූ චීන හිතවාදී මොහොමඩ් මුයිසු ඉන්දියාව සමඟ තිබූ සියලු සම්බන්ධතා චීනය දෙසට හැරවිමට කටයුතු කිරීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මාලදිවයිනේ සංචාරක ක්ෂේත්රය සම්බන්ධ නිලධාරීන් පසුගියදා සමාජ මාධ්‍යජාලයේ සඳහන් කර ඇත්තේ ඉන්දීය ජාතිකයන්ට මාලදිවයිනේ සංචාරය කිරීමෙන් ඉවත්වීම හේතුවෙන් එරට සංචාරක ව්‍යාපාර ආදායම මිලියන ගණනාවකින් පහත වැටී ඇති බවය. පසුගිය දින කිහිපය ඇතුළත මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය 40% කින් කඩා වැටී ඇතැයි පෙන්නුම් කරන බවත් එම ක්ෂේත්රයට සම්බන්ධ සංචාරක සමාගමක නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මාලදිවයින සහ ඉන්දියාව අතර කරුණු කිහිපයක් මුල් කරමින් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් හටගෙන තිබිණි. ඊට හේතු වූයේ ඔහු දිවුරුම් දීමෙන් පැය 24ක් යෑමට පෙර සිය හමුදා ඉවත් කරගන්නා ලෙස ඉන්දියාවට දැනුම්දීමත් සමඟ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අනතුරුව ජනාධීපති මුයිසුගේ හිතවාදී දේශපාලකයන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවමන් සහගත වචනවලින් ආමන්ත්‍රණය කිරීමෙන් පසු තත්ත්වය වඩාත් බරපතළ වූ බව වාර්තා වේ.
ඉන්දීය අගමැතිවරයාට අපහාස කිරීම හේතුවෙන් මාලදිවයිනේ සංචාරය කිරීමට සූදානමින් සිටි දහස් සංඛ්‍යාත ඉන්දීය ජනතාව සිය ගුවන් ටිකට්පත් සහ හෝටල් වෙන් කිරීම් අවලංගු කිරීමට පියවර ගෙන තිබූ අතර, අක්ෂේ කුමාර් වැනි බොලිවුඩ් සිනමා නළුවන් ද එම ප්‍රකාශ හෙළා දකිමින් මාලදිවයින රජය දැඩි විවේචනයට ලක් කර තිබූ බව වාර්තා වේ. කෙසේ වුවද මුයිසු හිතවාදී මැතිඇමැතිවරු එවැනි ප්‍රකාශ සිදු කළද, හිටපු අගමැතිවරයකු වූ මොහොමඩ් නෂීඩ් ඇතුළු ඉහළ මට්ටමේ දේශපාලඥයන් රැසක් එම ප්‍රකාශ හෙළා දැකීමට පියවර ගත් බව ද වාර්තා වේ.
මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය හරි අඩකට වඩා ඉන්දීය සංචාරකයක් මත රඳා පවතින බැවින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අර්බුදයක් හට ගැනීම මාලදිවයින සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වූ කරුණක් වී තිබේ.
එරට සිටි ඉන්දීය ආරක්ෂක නිලධාරීන් යළි කැඳවන ලෙස බලයට පත් වූ මුයිසු ඉන්දියාවෙන් ඉල්ලා සිටි අතර, ඉන්දියාව සමඟ ඇති ගිවිසුම් 100ක් පමණ සමාලෝචනය කිරීමට නියෝග කිරීමත් දෙරට අතර සබඳතා බිඳ වැටීමට හේතු වූ බව වාර්තා වේ.