කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වී ඇත. මේ කරුණ සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේය. 

මේ සඳහා බලපා ඇති නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සතියක පමණ කාලයක රුධිර කාන්දුකරණය සඳහා ඇතුළත්ව සිටි රෝගීන් මිය යාමට පටන්ගෙන ඇති බවද මේවනවිට රෝගීන් පස් දෙනකුට වැඩි පිරිසක් රුධිර කාන්දුකරණ ක්‍රියාවලියේදී මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.

මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කල අතර මෙම මරණ සඳහා රුධිර කාන්දුකරණය සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑමක් ඇති බවට රෝහලේ රසායන නිලධාරීන් සැක පල කරති.

රුධිර කාන්දුකරණයෙන් අනතුරුව රුධිර මට්ටම පහළ වැටීමෙන් මෙම මරණ සිදුව ඇති බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්  ඊයේ( 24)කුරුණෑගලට පැමිණියහ.

Share.

Comments are closed.