මේ දිනවල අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන් එළිමහනේ හා ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළකිය යුතු බවත් සිසුන් දැඩි හිරුඑළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවට වූ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (26දා) පාසල් ප්‍රධානීන්ට නිකුත් කලේය.

එවැනි උණුසුම් දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බවද එම නිවේදනයේ දැක්වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව මෙම උපදෙස් නිකුත් කර තිබෙන අතර එහි සඳහන් කරුණු මෙසේයි.

• අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ/ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විය යුතුය.
• සිසුන් විවේක කාලයේ දී දැඩි හිරුඑළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතුය.
• වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු වේ.
• දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පිටතට ගෙන යෑමෙන් වළක්වා ගැනීම (පාසලේදී මෙන්ම නිවසේදී)
• අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටීම.
• අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදුකළ යුතුය.

• බඳ පටි පැළඳීම හැකිතාක් අවම කිරීම.

• අධික හිරුඑළිය සහිත පරිසරයේ දී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිතා කිරීම.

• කළු වර්ණයෙන් යුත් ඇඳුම් පැළඳුම් භාවිත නොකළ යුතුය.

• නිවසෙන් බැහැර යන හැම අවස්ථාවකදීම පිරිසිදු වතුර බෝතලයක් රැගෙන යෑම.

• සාමාන්‍ය දිනවලට වඩා ජලය පානය වැඩි කිරීම, තැඹිලි, කුරුම්බා, ජලය වෙනුවට ආදේශක ලෙස භාවිත කිරීම සුදුසු වේ. කිසිදු අවස්ථාවක සීනි අධික පැණි බීම භාවිත නොකළ යුතුය.

• අධික උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි අහිතකර රෝග ලක්‍ෂණ ඇතිවන්නේ නම් ගුරුවරයකුට හෝ වැඩිහිටියකුට දැනුම්දීම මගින් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.

Share.

Comments are closed.