රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි.

1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය

Share.

Comments are closed.