පාසල් සහ පාසල් අවට ප්‍රදේශ දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී ඇත. ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇතැම් පුද්ගලයන් පාසල් සඳහා පරිත්‍යාග, ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බවත් එම ක්‍රියාපිළිවෙත වළක්වන්නැයි දරුවන්ට ආදරේ කරන පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව තිබූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බවත් හෙතෙම කීවේය.

මෙරට ඉතිහාසය තුළ විවිධ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයන් කිසි විටෙකවත් පාසල සහ පාසල් භූමිය තමන්ගේ හෝ වෙනත් අයගේ දේශපාලනය සඳහා භාවිත නොකළ බව ඒ මහතා සඳහන් කලේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම අත්හිටුවන්න, තහනම් කරන්න, නවත්වන්න කියලා ආණ්ඩුකාරවරුන්ට නියම කරන යෝජනාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා.

මම මේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරලා තිබෙනවා. ඒ කාලපරිච්ඡේදයෙන් පසුව හෝ එම කාලපරිච්ඡේදය තුළ කිසි විටෙකත් අප අපේ දේශපාලන මතයක් හෝ වෙනත් දේශපාලන කතාවක් කිරීම සඳහා පාසලවත් දරුවන් හෝ ගුරු සංවිධානවත් යොදා ගත්තේ නැහැ. අපට පෙර සහ පසුව හිටපු සියලු දේශපාලන නායකයනුත් පාසල දේශපාලන කටයුතු සඳහා භාවිත කළේ නැහැ. ඒ නිසා එය නොකළ යුතු දෙයක් ලෙස රජය සලකනවා.”

Share.

Comments are closed.