ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය ඊයේ දින එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය විකිණි අවසන් වී තිබේ.

ඊයේ පෙරවරුවේ වෙළඳපොළට නිකුත් වූ මෙම කෘතිය පස්වරුව වන විට විකිණී අවසන් වී තිබූ බව අලෙවි නියෝජිතයන් සඳහන් කරති.
මෙම තත්ත්වය මත එහි දෙවන මුද්‍රණය ද වෙළඳපළට නිකුත් කරමින් තිබෙන අතර තුන් වෙනි මුද්‍රණය සඳහාද කටයුතු සූදානම් කරමින් තිබේ.

“අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා  ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ අනුව ආරක්ෂක ලේකම් යුද නාවික ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්තද ඉන් ප්‍රතිඵලයක් අත් නොවූ බව ඔහු සඳහන් කළේය.”

මේ තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමැති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ ග්‍රන්ථයේය.

ගාලු මුවදොර විරෝධතා ආරම්භ වී දින කිහිපයකට පසු කොටුව ජනපති මන්දිරය ඉදිරිපිට චෛත්‍ය පාර අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කරන බවට තමාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් තොරතුරු ලැබුණු බවත් මෙම තොරතුරු ලැබීමෙන් පසු චෛත්‍ය පාරට ඇතුළුවන පිවිසුම අවහිර කිරීමට ට්‍රක් රථ කිහිපයක් එම ස්ථානයට ගෙනවිත් රැඳවූ බවත්  මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙය සිදුවූ මොහොතේම යුරෝපීය තානාපතිවරුන් දෙදෙනකු මහත් කලබලයෙන් තමාට කතා කර විරෝධතා කරුවන් ගාලු මුවදොරින් පලවා හැරීමට සූදානම් වෙනවාදැයි විමසා සිටි බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන් ගාලුමෝදර රැඳී සිටිනු දැකීමට ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු බව ප්‍රකාශ කරයි.
තමා නෙරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තයක් ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණක් බව පවසන ගෝටාභය රාජපක්ෂ මහතා තමා බලයට පත්වීමම ඇතැම් විදේශ බලවේගවල මහත් කණගාටුවට හේතු වී තිබූ බවද අනාවරණය කලේය.

Share.

Comments are closed.