මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවා ඇත.

හිරු එළිය සම මතට සෘජුවම පතිත වීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරු සදහන් කරයි.

ඒ අනුව සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වය ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්ථානයන්හි රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන ඇත.

කුඩා දරුවන් ඇතුළු පාසල් දරුවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරුවීමේ අවධානමක් පවතින අතර ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සදහන් කළාය.
විශේෂඥ වෛද්‍යවරිය  තවදුරටත් සදහන් කළේ,

” විශේෂයෙන්ම දිලීර ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා බෙහෙතක් දෙන්න කියලා ඉල්ලන්න එපා. දිලීර ආසාදන වලට ඒ විදියට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරෙත්තු දීමකට ලක්වෙලා‌ ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්.

ළමයි අව්වට යන්න පුරුදු විය යුතුයි කියන මතය මේ වගේ කාලයකදී පාවිච්චි කරන එක එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නෙමෙයි. මොකද මේ සැර දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් දරාගැනීම අපහසුයි.”

Share.

Comments are closed.