කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් – අහමඩ් අල් – ජාබර් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා නිවේදනය කලේය.

මෙම පොදු සමා කාලය ඉකුත් 17 දින සිට එළඹෙන  අප්‍රේල් 17 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය .
කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,620 ක් පමණ සිටින බව නිල වාර්තා අනුව තමන්ට සනාථ වී ඇති බවත්, ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000 ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය .
මෙම පොදු සමා කාලයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇගිලි සළකුණු ලබා ගෙන , යලි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000 ක දඩ මුදලක් ද අය කර පිටුවහල් කිරීම සිදු කරනු ලබයි .

එහෙත් මෙම පොදු සමා කාළය තුළ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී එරටින් පිට වීමට කටයුතු කළහොත් මෙම දඩ මුදල් ගෙවීම හෝ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග වෙත අනුගත වීම අවශ්‍ය නොවන බව දැක්වේ.

Share.

Comments are closed.