අමෙරිකාවේ බැල්ටිමෝර් නුවර පැටප්සකෝ ගංගාව ඔස්සේ කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ නෞකාවක් ගැටීමෙන් බැල්ටිමෝර් හි විශාලතම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. භාණ්ඩ නෞකාව පාලමේ කුලුනක ගැටීමෙන් තත්ත්පර ගණනාවක් ඇතුළතදී සැතපුම් 1.6ක දුරකට විහිදුණු මං තීරු 4කින් සමන්විත එම පාලම මුළුමනින්ම කඩා වැටි ඇති අතර, එම අවස්ථාවේදී පාලම ඔස්සේ ධාවනය කරමින් තිබූ වාහන රැසක් සහ පුද්ගලයන් 20 දෙනකුට දියට වැටී අතුරුදන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් නෞකා සමාගමක් වන සිනර්ජි මැරීන් සමූහයට අයත් මීටර් 300ක් දිග සිංගප්පූරු ධජය සහිත ‘දාලි‘ නමැති එම නෞකාව මෙරිලන්ඩ් නගරයේ වරායේ සිට ගමන් ආරම්භ කර මිනිත්තු 45කට පසුව පාලමෙහි ගැටී ඇති අතර, එම අනතුරින් නෞකාවේ කිසිවකුට හානියක් නොවූ බව හිමිකාර සමාගම ප්‍රකාශ කර ඇත.

බැල්ටිමෝර් නුවර ආපදා මෙහෙයුම් බළකාය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව විපතට පත්වූවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඊයේ වන විට පැටප්ස්කෝ ගංගාව අධික සිසිලකින් පැවැති බවත්, එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කට වඩා අඩු අගයකින් යුතුව පැවැතුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එබැවින් ගඟට වැටී අතුරුදන්වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ද වැඩිදුරටත් වාර්තා වේ. වසර 1977දී විවෘත කළ එම පාලම අමෙරිකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ෆ්‍රැන්සිස් ස්කොට් කී නමින් නම් කර තිබේ.

Share.

Comments are closed.