ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමන ICC මාසයේ ක්‍රීඩක සම්මානයේ මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී ඇත.

අවසන් වූ බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේදී සහ ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා අනුව මාර්තු මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත.
කමිඳු මෙන්ඩිස් මෙම නිර්දේශ අතරට එක්ව ඇත්තේ පිතිකරණයේදී දැක් වූ දස්කම් හේතුවෙනි.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කැපී පෙනෙන දක්ෂතාවයන් දැක්වීමට සමත් විය.


එහිදී ඔහු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක රැස්කළ අතර දෙවන තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 92ක් රැස්කර ගැනීමට සමත් විය.

එසේම තරගයේ ජයග්‍රහණය කරා යන ගමනේදී පන්දුවෙන් ද දස්කම් දැක්වූ ඔහු ලකුණු 32කට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.

මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ මෙන්ම තරගයේ වීරයා සම්මානය ද කමිඳු මෙන්ඩිස් හිමි කරගත්තේය.

එමෙන්ම කමිඳුට අමතරව අයර්ලන්තයේ මාක් අඩීර් සහ නවසීලන්තයේ මැට් හෙන්රිගේ නමද නිර්දේශ වී ඇති බව සඳහන්ය.

Share.

Comments are closed.