ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කිරීම සම්බන්ධයෙන් වන මීළඟ පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහත්වරු අතර අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හිදී පැවැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

වොෂිංටන් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “වසර මැද ස්ප්‍රිං සමුළුව” 2024ට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා එම සමුළුවට සමගාමීව මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා හමුවීම සතුටට කරුණක් බව පෙන්වා දී තිබෙන මුදල් රාජ්‍ය ඇමැතිවරයා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා ඵලදායී අයුරින් සිදුවන බව ද පෙන්වා දෙයි. වසර 2022දී රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබාදුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්තමානයේ ළඟා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව මුදල් රාජ්‍ය ඇමැති සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.