දිවයිනේ මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ ප්‍රමුඛතම තරගාවලිය ලෙස සැලැකෙන ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය වසර 5ක විරාමයකට පසු ලබන 21 වැනිදා දියතලාව නරියකන්දේ දී පැවැත් වේ. ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 28 වැනි වරටය.

අවසන් වරට 2019 අප්‍රේල් මස 21 වැනිදා පැවැති 27 වැනි තරගාවලිය එදින සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අතරමඟ නැවැත්වීමට සිදුවී තිබූ අතර, එය නැරැඹීමට පැමිණ සිටි අතිවිශාල ජනකාය යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව මැද ඉවත් කිරීමට කටයුතු යොදා තිබිණි. අනතුරුව කොවිඩ් වසංගතයත්, ඉන් පසු රටේ පැවැති අයහපත් ආර්ථික තත්ත්වයත් හේතුවෙන් වසර 5ක් පුරා පැවැත්වීමට නොහැකි වූ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට් (SLAS) වත්මන් සභාපති අෂ්ෂර් හමීම් මහතාගේ දැඩි කැපවීම සහ උත්සාහයෙනි. මෙවර ඒෂියන් පේන්ට්ස් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්වෙන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ මෝටර් රථ සහ යතුරු පැදි තරග ඉසව් 25ක් සඳහා දෙස් විදෙස් තරගකරුවන් 200කට වැඩි පිරිසක් එක්වීමට නියමිතය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මහතා 1993 වසරේදී සිය මිතුරන් පිරිසක් සමඟ එක්ව ආරම්භ කළ ෆොක්ස් හිල් තරගාවලිය 2019 අප්‍රේල් මස 21 වැනිදා දක්වා අඛණ්ඩව 27 වතාවක් පැවැත් වීය. ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨය කේන්ද්‍ර කරගනිමින් ගොඩනගන ලද ධාවන පථයේ සිය දස්කම් විදහා දැක්වීමට අරවින්ද ප්‍රේමදාස, අශාන් සිල්වා, පසිඳු පීරිස්, දිනේෂ් දෙහෙරගොඩ, කසීම් වහාබ්, රිස්වී ෆාරුක්, ප්‍රදීප් ජයවර්ධන, ශානක ඇම්බෘස් හා නලින් ඩී. පෙරේරා දක්ෂතම රියැදුරන් ලෙසත්, ආනන්ද වෙඩිසිංහ, ගයාන් සඳරුවන්, ඉෂාන් දසනායක, කේ.පී. අරවින්දන් (ඉන්දියාව), සී.එස්. සංතූෂ් (ඉන්දියාව) ශේන් ගුණවර්ධන නලින් පෙරේරා, උදේෂ් වෙඩිසිංහ, විජය කුමාර් (ඉන්දියාව) ටොමෝයා සුසුකී ( ජපානය) ශෙහාන් සී. අධිකාරී හා රෙහාන් බුල්ජන්ස් දක්ෂතම යතුරපැදි ධාවකයන් ලෙසත් කුසලාන දිනා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙවර ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට් ( SLAS) සමඟ සිලෝන් මෝටර් ස්පෝට් (CMSC), ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජය (SLMCC) , ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපාදි ධාවකයන්ගේ සංගමය (SLADAR) , සර්දන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (SMSC) , මෝටර් රේසිං ක්‍රීඩා සමාජය (MRC) , මීගමුවේ මෝටර් රථ ක්‍රීඩා සමාජය (NMSC), ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (AMRC) කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය (CMSC) , ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (SLADA) හා ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය ( SLAMSC) දායකත්වය ලබා දී ඇත.

Share.

Comments are closed.