මෙරටට පැමිණෙන සංචාරකයන් හට වීසා නිකුත් කිරීම රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මඟින් සිදු කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.
සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම හා සංචාරකයන්ට වීසා ලබාගැනීමේ පහසුව සඳහා ජාත්‍යන්තර ආයතනයක් හා ගිවිසුම්ගත වූ බවත්, මේ අනුව අදාළ සමාගමේ www.srilankaevisa.lk වෙබ් අඩවිය මඟින් වීසා අයදුම් කළ යුතු බවත් ලේකම්වරයා පැවසීය.
මෙම සමාගම රටවල් 145ක වීසා අයදුම් භාර ගැනීම හා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ නිරත ජාත්‍යන්තර ආයතනයක් බවත් එම ආයතනය සෑම රටකම මවු භාෂාවෙන් අදාළ උපදෙස් සහ ක්‍රමවේදයන් දැනුවත් කිරීම් සිදු කරන බවත් කී ලේකම්වරයා මේ සමාගමට මේ කාර්යය වසර දහයක කාලයකට ලබා දී ඇතැයිද සඳහන් කලේය.
මෙම ක්‍රමවේදයට අනුව වීසා අයදුම්පත් යොමු කළද වීසා අනුමත කිරීම, ලබාදීම, ලබා දෙන කාණ්ඩය හා ගාස්තු අය කිරීමේ යන සියලු තීරණ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් සිදු වන බවද වැඩිදුරටත් සඳහන් වේ.