ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් දියත් කල උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉරාන ජනාධිපතිවරයා පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව සිය ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරන අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව ඒ මහතා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා එක්දින නිල සංචාරයක් වෙනුවෙන් ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන අතර එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වේ. ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර මිතුදම වඩාත් ශක්තිමත් කරන්නක් බව ද ජනතා අයිතියට පත් කෙරෙන උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සෘජුවම දායක වන බව ද රජය පෙන්වා දෙයි.

මේ අතර පසුගිය 2008 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 529ක් මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන අතර එයින් 85% ක ප්‍රමාණයක් ඉරාන රජය විසින් සපයා ඇත. වර්ෂ 2010 දී ආරම්භ මෙම ව්‍යාපෘතියෙන් අදියර දෙකක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීමට නියමිතය.

වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් 20,000කට පමණ වාරි ජලය සපයයි. ඊට අමතරව ලුණුගම්වෙහෙර ජලාශය දක්වා සහ කුඩා වැව් 40කට ජලය සැපයීමට ද අපේක්ෂා කරන අතර එම ජලයෙන් කොටසක් ගෘහස්ථ, පානීය සහ කාර්මික අවශ්‍යතා සඳහා ද යොදා ගැනීමට නියමිතය. උමාඔය පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිමකර ඇති අතර තවත් වැව් 15ක් සංවර්ධනය ආරම්භ කර තිබේ. තවත් කුඩා වැව් 67ක ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙන අතර උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වෙයි.

Share.

Comments are closed.