මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වන අතර පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේය.

දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම හේතු වී තිබේ.

කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම, මෙලෙස අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ද පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ දී ඉහළ ගොස් ඇත.

මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව සඳහන්ය.

මෙම වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ ප්‍රේෂණ ද මාර්තු මාසයේ දි අමෙරිකානු ඩොලර් මිලියන 572ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේය.

මේ වනවිට රුපියල අති ප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින අතර අප්‍රේල් මස 30 වැනිදා දක්වා කාලය තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල  9.1% කින් අතිප්‍රමාණය වී තිබේ.

ඊට සමගාමීව යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.