කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාදයන් මත ඊයේ (01) දින උණුසුම් තත්ත්වයක් ඇති විය.

මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා දීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව සඳහන්.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි.
සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක වීසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලක් හා වෙනත් රටවල සංචාරකයන් සඳහා ඩොලර් 50ක මුදලක් ද ඒ හරහා අය කරනු ලැබීය. එම සම්පූර්ණ ආදායම ශ්‍රී ලංකාවට හිමි විණි.

ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමට ද පහසුකම් සලසා තිබුණි.

නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ඉන්දීය සමාගමකට ලබාදීමට මීට දින දෙකකට පෙර රජය තීරණය කර තිබුණු අතර ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය කර නොගත් සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද මෙම ඉන්දීය සමාගම හරහා වීසා ලබාදීමේ දී අයකරනු ලබන බව වාර්තා විය.

සාක් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් අමෙරිකානු ඩොලර් 22ක මුදලක් ද වෙනත් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 25ක මුදලක් ද ඒ අනුව  එම සමාගම විසින් අයකර ගනු ලබන බව සඳහන් වේ.

මීට පෙර මෙරටට පැමිණීමේ දී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයින්ගෙන් ද මෙම සමාගම අමෙරිකානු ඩොලර් 22ක මුදලක් අය කෙරේ.
අදාළ විදේශීය සමාගම මගින් වීසා නිකුත් කිරීම පමා වීම හේතුවෙන් ඊයේ සංචාරකයින් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳී සිටීමට සිදු වූ අතර එහි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වූ බව වාර්තා විණි.

Share.

Comments are closed.