ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු ඩිජිටල් මුහුණුවරකින් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම ඩිජිටල් පරිවර්තනයට අදාලව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබාදීමට චීන රජය විසින් එකඟතාව පළ කර ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව ශක්‍යතා අධ්‍යයනයක් ද මේ වන විට සිදුකරනු ලැබ ඇතැයි රජය පවසයි.

යෝජිත ව්‍යාපෘතිය මගින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පංති කාමර,ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක්, චිත්‍රාගාරයක් සහ සම්මන්ත්‍රණ කාමරයක් ලබාදීමට අපේක්ෂිත බව ද රජය සඳහන් කරයි.

මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ම සිදුකිරීම,සම්පත් බෙදා ගැනීම, විශේෂ කුසලතා ඇති ගුරු භවතුන්ගේ දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී සිසුන්ට ලබාදීම, ගුරුවරුන් හිඟ අවස්ථාවන් හේතුවෙන් වන ගැටලුකාරී තත්ත්ව මග හරවා ගැනීම හා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා එකී උපාංග මගින් සහාය ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද රජය කියයි.

ඒ අනුව අදාල ශක්‍යතා අධ්‍යයන වාර්තා මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Share.

Comments are closed.