මෙරට ජනතාව අධික ජීවන වියදම් මැද පීඩා විඳින අවස්ථාවක තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබා දී ඇති පහසුකම් වලට සමාන අයුරින් තමන්ටද වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙස එම මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ධනාත්මක අයුරින් සලකා බැලූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ පාවිච්චිය සඳහා තීරු බදු රහිතව වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මෙලෙස ඉල්ලීමක් කළ බව  සඳහන් වේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය එම ඉල්ලීමට ලැබීමත් සමග එය ක්‍රියාත්මක කළ හැකි මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන්‍ ය.

Share.

Comments are closed.