ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයෙන් ජීවිත ගලවා ගත් අය සොයා ගෙන නොමැති බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRINN වාර්තා කරයි.

ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටරය අනතුරෙන් සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති බවය.

රයිසි මහතා ඉරානයේ අටවැනි ජනාධිපතිවරයා විය. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී අනතුරට ලක් වූයේ අසර්බයිජාන් දේශසීමාවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ එක්ව වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදීය.

ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැ‍ඟෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි සහ වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේවමෙහෙය සිදු කළ ප්‍රධාන පූජක හොජ්ජටුල් ඉස්ලාම් අල් හෂීම් ඇතුළු 09දෙනෙකු අනතුර සිදුවන මොහොතේදී ජනාධිපතිවරයා සමඟ හෙලිකොප්ටර් යානයේ සිටි බව ද එරට රජයේ මාධ්‍ය තහවුරු කර තිබේ.

හෙලිකොප්ටර් යානය පිටත් වී පැය භාගයක් ඇතුළත අනතුර සිදුව තිබුණි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සෙවුම් කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි.
ඉරානයේ රතුකුරුස සංවිධානයේ ප්‍රධානියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ තත්වය යහපත් නොවන බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටුණු ස්ථානය සෙවීමට තුර්කි ඩ්‍රෝන යානයක් එරට නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයට යොමු කර තිබූ අතර අනතුරුව උණුසුම් තාප ප්‍රභවයක් සහිත ස්ථානයක් හඳුනා ගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර තිබුණි.

මේ අනුව දැවෙන ස්ථානයක් හඳුනාගෙන තිබූ අතර, තාවිල් ලෙස හඳුන්වන එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා තිබුණි.
ඝන මීදුම සහ අධික ශීතල සහිත දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ කඩා වැටුණු ස්ථානය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීමේ උත්සාහයන් සඳුදා රාත්‍රිය පුරා සහ මේ දක්වා අඛණ්ඩව සිදු විය. ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් මෙහෙයුම් සදහා එක් කර ඇතැයි ද රතුකුරුස සංවිධානය සදහන් කරයි.

මේ අතර ඉස්ලාමීය ජනරජයේ මාධ්‍ය යන්ත්‍රය, ඉරාන නායකයා වෙනුවෙන් යාඥා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමත් සමඟ දේවස්ථානවලට රැස් වූ ජනතාව යාඥාවන් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share.

Comments are closed.