බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සමඟ උතුරු පළාත දියුණු කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඒ සඳහා ගත වූ මාස දෙකක කාලය තුළ උතුරු පළාතේ රෝහල් ඒකක 4 ක් විවෘත කළ බවත් ජනාධිපතිවරයා කීවේය. එමෙන්ම වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට අනුබද්ධව නව වෛද්‍ය පීඨයක් ලබාදීමට කටයුතු කරන බව ද ජනපතිවරයා පැවැසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

අද මෙම වෛද්‍ය ඒකකය විවෘත කරන අවස්ථාවේ දී මෙහි පසුබිම පිළිබඳ සඳහන් කළ යුතුයි. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුන සේවාවන් යළි නඟා සිටුවීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු එවකට පැවැති රජය විසින් ආරම්භ කළා. එම පළමු අදියරේ වැඩකටයුතු අවසන් වූ නමුත් මෙම සියලු අංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස එකල නෙදර්ලන්ත රජය සමඟ සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.

යුද්ධයට පෙර, කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණු වීමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාත ද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැඟිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේදී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගි වීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා.

යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බව ද සඳහන් කළ යුතුයි.

නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබේ. උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන අතර මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්, ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් මෙය සමන්විතය.

Share.

Comments are closed.