ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා සඳහන් කර තියෙන්නෙ විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවය.
ඊයේ (30) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

හමුදාවට බැඳීමට රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබේ.
රුසියාවට වීසා ලබාදීමේ දී අවශ්‍ය ලියකියවිලි පමණක් පරික්ෂා කර වීසා නිකුත් කිරීම සිදු නොකරන බව ත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහි දී ගැහැනු පිරිමි භේදය නොසලකා සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන බව ද හෙතෙම ප්‍රකාශ කලේය.
රුසියානු හමුදාවට බැඳී ඇති පිරිස මෙරට නියෝජිතයන් මාර්ගයෙන් ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, රුසියානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් නොදැනුවත්ව සිටින බවත් තානාපතිවරයා අවධාරණය කර ඇත.

සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවේ ඔවුන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ බව තානාපතිවරයා කියා සිටියේය. රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් අත්සන් කර ඇති ගිවිසුමක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් තානාපතිවරයා ප්‍රකාශ කළේ, එය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුමක් දැයි යන්න පිළිබඳ කිසිවක් මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව විමර්ශනයක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ. රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දෙන බවත් කෙසේ වෙතත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිවකු කතා නොකරන බවත්, රුසියානු තානාපති ලෙවාන් එස් ජගර්යාන් පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳ පැමිණිලි නොලැබුණු පමණින් ශ්‍රී ලාංකිකයන් යුක්රේන හමුදාවට බැඳී නොමැති බව අදහස් නොවන බව ද ඔහු කියා සිටියේය.
යුක්රේන හමුදාවේ ද ශ්‍රී ලාංකිකයන් සිටින බවත් එම නිසා රුසියාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙසත් තානාපතිවරයා වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 455 ක් ලැබී තිබේ. ඉදිරියේ දී පැමිණිලි තවත් වැඩිවිය හැකි බවයි මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ‍කියා සඳහන් කර ඇත.

Share.

Comments are closed.