ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සන්ධානය ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත්විය.

මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන්ට ස්තූතිය පළ කලේය.

ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපළයට අනුව මෝදිගේ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 543න් 292ක් හිමිකරගෙන ඇත. අවසන් වරට 2019 වසරේ පැවැති මහ මැතිවරණයට සාපේක්ෂව මෝදි විසින් මෙවර මැතිවරණ ප්‍රතිපළවලට අනුව ආසන 60ක් අහිමි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

මේ අතර කොංග්‍රස් පක්ෂයේ නියෝජනයෙන් යුත් ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය නැතහොන් ඉන්දියා (I.N.D.I.A) සන්ධානය ගියවරට සාපේක්ෂව මෙවර ආසන 141ක් දිනා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවේ ආසන 232 ක් හිමිකර ගෙන තිබේ.

ගියවර මැතිවරණ ප්‍රතිපළ අනුව ඔවුන් දිනාගෙන ඇත්තේ ආසන 91ක් පමණක් වන අතර පසු ගිය වරට සාපේක්ෂව මෙවර ප්‍රථිපලය දැවැන්ත නැගී සිටීමක් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

එසේම සුළු පක්ෂ සඳහා ආසන 19ක බලයක්ද හිමිව තිබෙන අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව පසුබැසීමක් බව සඳහන්ය.
ගියවර සුළු පක්ෂ සඳහා 99ක ආසන ප්‍රමාණයක් හිමිව තිබූ නමුත් මෙවර මැතිවරණයේදී එය ආසන 80කින් අහිමිව ප්‍රධාන පක්ෂ දෙක අතරේ බෙදී ගොස් ඇති බවයි වාර්තා වේ.

Share.

Comments are closed.