ඉන්දියාවේ, මුම්බායි හි පිහිටා ඇති චත්‍රපති සිවාජි මහාරාජ් ගුවන්තොටුපළේ සිදුවීමට ගිය දරුණු ගුවන් යානා අනතුරක් වළක්වා ගැනීමට හැකිව තිබේ.

පසුගිය සෙනසුරාදා (08) පස්වරුවේ එකම ධාවන පථයක යානා දෙකක් ධාවනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ඉන්ඩිගෝ ගුවන් යානයක් අංක 27 ධාවන පථයට ගොඩබස්වා තිබෙන අතර එම අවස්ථාවේ දී එයාර් ඉන්දියා ගුවන් යානයක්ද අදාළ ධාවන පථයෙන් ගුවන් ගත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්ඩිගෝ 5053 ගුවන් යානය හාලියාබායි හොල්කර් ගුවන් තොටුපළේ සිට පැමිණ තිබේ.
එයාර් ඉන්දියා 657 ගුවන් යානය තිරවන්ද්‍රපුරම් බලා ගමන් කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන් වේ.
තම යානය අනතුරකින් තොරව ගුවන් ගත කිරීමට හැකි වූ අතර අනෙක් ගුවන් යානය පිටුපසින් එය වෙත ළඟා වන බව ගුවන් නියමුවන් නොදැන සිටි බව නිවේදනයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සමාගම සඳහන් කර ඇත.

2024 ජුනි 8 වන දින ඉන්දෝර් සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් යානයට මුම්බායි ගුවන්තොටුපළට ගොඩබෑමට අවශ්‍ය අවසරය එහි අණ දෙන නිලධාරියා විසින් ලබා දී තිබේ. මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර තම ගුවන් නියමුවන් කටයුතු කළ බව ඉන්ඩිගෝ ගුවන් සේවය වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට හැකි වූ බව සඳහන් වේ.
මෙම යාන දෙක සඳහාම එක් නිලධාරියෙකු විසින් අණ ලබා දී ඇති බවත්, ඔහුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇති බවද  ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Share.

Comments are closed.